පොඩි හාමුදුරුවෝ

View previous topic View next topic Go down

පොඩි හාමුදුරුවෝ

Post  arumaya on Wed Feb 17, 2010 4:34 am

අ‘පියදාස සිටියේ ගොඩක් සන්තෝෂයෙන් වාට්ටුවේ දැලේ එල්ලීගෙන කොරිඩෝව දෙසට දෙනෙත් යොමා ගෙන.

ආරක්ෂක නිලධාරී මහතා වාට්ටුව දෙසට එනු දුටු පියදාස ‘ගුඩ් මෝනින් සර්’ කියාගෙන ඉදිරියට පිය මැන්නා.

“මොකද පියදාස අද වෙනදා නැති සන්තෝෂයකින්” සර්ට මගේ මොකක් හරි වෙනසක් පේනවද”

“වෙනසක් පේනවා, වෙනදාට වැඩිය පිං පාටයි” මොකද කවුරුහරි විසිට් එකක්වත් දැම්මද” මෙසේ කියමින් නිලධාරියා ඉදිරියට පිය මනිද්දි පියදාස පසු පසින් ගමන් කළා.

“සර් ඊයේ අපේ මැණිකේ ආවනේ මාව බලන්න”

“ඉතින් වෙන කවුද මැණිකේ එක්ක ආවේ”

“බලන්න ආසයි සර්... මැණිකේ එක්ක පොඩි හාමුදුරුවොත් වැඩියා මාව බලන්න”

“පොඩි හාමුදුරුවෝ කියන්නෙ මැණිකෙගේ බාල මල්ලි ද? අසමින් නිලධාරියා එක තැන නැවතුණි.

“ඔව්... සර්...”

පියදාස වසර 5 ක සිර දඬුවමක් විදින්නේ නොකළ වරදකට ය. අනියම් මිනි මැරීමකට වරදකරු බවට පිළිගැනීමෙනි. අතේ මිල මුදල් නොමැති කමින් හා හරි හමන් අවබෝධයක් නොමැති කමින් වසර ගණනක් රිමාන්ඩ් ගතවී සිටිනවාට වඩා පොලිසියේ කීමට අනියම් මිනීමැරුමට වරද බාරගෙන දඬුවම් ලබන අහිංසකයෙකි.

ජීවිතයේ කවදාවත් පොලිසියකට ගොඩ නොවුන පියදාස කුඹුරු ගොවිතැනින් හා පතල් රක්ෂාවෙන් ජීවිකාව ගෙන ගිය අතර, ගමේ කාගෙත් හොඳහිත දිනාගත්තෙකි.

“මට හරි දුකයි මහත්තයෝ පොඩි හාමුදුරුවෝ ගැන, කසාද බඳින්න කලින් මම මැණිකෙ ව බලන්න යද්දි අවුරුදු 6 - 7 ක් විතර ඇති පුංචි කොලු පැටියෙක්. අපි පීල්ලට නාන්න යද්දි පොඩි මල්ලියා බාල්දියට සබන් පෙට්ටියයි සාලුවයි දමාගෙන පස්සෙන් දුවගෙන එනවා සුරතල් කොලු පැටිය”

“පියදාසගේ මුහුණ දුකයි සතුටයි මුසුවුණු ආසාවකින් පිරෙන්න වුණා” ආරක්ෂක නිලධාරී මහතා සවන් දීගෙන හිටියේ පොඩි එකෙක් සුරංගනා කතාවක් අහගෙන ඉන්න ගානටයි.

“එදා විසිට් එක බලල එද්දි, මැණිකේ මගේ දෙපා ළඟ දණ ගසා වැන්දට පස්සේ මම පොඩි හාමුදුරුවන්ගේ දෙපා ළඟ දණ ගසා වැන්දා. මැණිකේ අඬනවා මගෙත් දෑසින් කඳුළු කැට දෙකක් කඩා වැටුණේ මටත් නොදැනීමයි. මම පොඩි හාමුදුරුවන්ටයි මැණිකෙටයි සමු දුන්නා.

රෝහලේ සේවය කරන කිසිම නිලධාරියකු පියදාසට හිත රිදෙන්න වචනයක්වත් කථා කළේ නැත. ඒ පියදාස ගැන දන්න නිසායි. පියදාස වාට්ටුවේ වැඩ කිසිවක් අතපසු කළේ නැත. වැඩිපුර කළේ වාට්ටුවේ රෝගීන්ට බෙහෙත් දාන එකයි රෝගීන්ගේ කෑමබීම ලබා දෙන එකයි. පියදාසගේ කරුණාවයි උනන්දුවටත් වඩා තිබුණ අත්ගුණයයි නිසා දෝ ඕනෑ ම තුවාලයකට දෙතුන් වතාවකට බෙහෙත් දමද්දි එය කෙමෙන් සුව අතට හැරුණි. වැරැද්දකට කළේ ඉඳහිට විටක් සැපීම පමණයි.

කාලය කෙමෙන් ගෙවී ගියා. පියදාස නිදහස් වීමට තවත් තිබුණේ සතියක පමණ කෙටි කාලයකි. ආරක්ෂක නිලධාරී මහතා එදින රාත්‍රී සේවයේ පළමු මුරය සඳහා සේවයට වාර්තා කළා. ඒත් වෙනදා රාත්‍රී සේවය සඳහා වාර්තා කරද්දි “ගුඩ් ඊවිනින් සර්” කියාගෙන පෙරට එන පියදාස පේන්නට සිටියේ නැත. වාට්ටුවේ සිටි වෙනත් සාත්තු සේවකයකු ආරක්ෂක නිලධාරී මහතා ඉදිරියට ඇවිත් ළඟට කිට්ටුවී මොනවදෝ මුමුණා ඉවත් වී ගියා.

ආරක්ෂක නිලධාරී මහතා පියදාසට කතා කළා. “පියදාස මෙහේ එනවා නිකන් පොඩි ළමයෙක් වෙන්න හදන්න එපා. දෙනෙත් පොඩි කරමින් පියදාස නිලධාරී මහතා ඉදිරියට ආවා.

“ඔන්න ඔය බංකුවෙන් ඉඳ ගන්නව.”

පියදාස කීකරු සේවකයකු මෙන් නිලධාරීයා ඉදිරිපිට දෑත් දෙපා එකතු කරමින් ඉඳගත්තා.

“මෙහේ බලනවා පියදාස දැන් මට කියනවා අද උදේ මොකක්ද වුණේ කියලා, හිර ගේ පැත්තෙන් මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් ද කියලා.”

පියදාස ඉකි ගසමින් ආයෙත් අඬන්න පටන් ගත්තා.

“පොඩි ළමයෙක් වෙන්න හදන්න එපා, පියදාස දැන් අවු. 3 1/2 ක විතර අච්චුවකුත් ඇදල ඉන්න එකේ ටිකක් හිත හයිය කර ගන්නවා.”

හා... හොඳයි දැන් කියනවා බලන්න මොනවද වුණේ කියලා.”

පියදාස හරි බරි ගැසී කථාව පටන් ගත්තා.

“අද උදේ විසිට් පාටි මට කථා කළා කවුද දෙන්නෙක් බලන්න ඇවිත් ඉන්නවා කියලා. මම ඇහුව්වා කවුද කියලා.”

එකක් එකට ම නිදහස් වෙන්න තව සතියක් විතර තියන නිසා ගෙදරින් වෙන්න ඇති. ඇඳුම් මොනවා හරි අරගෙන මැණිකේ ඇවිත් කියලා. ඒත් දෙවියනේ අනිත් කෙනා කවුද? හදිසියට විසිට් එක බලන්න, එස්පී මහත්මයා හමුවන්න වගේ අවස්ථාවකට අදින්න මම වෙනම ඇඳුම් සූට් එකක් අයින් කරලයි තිබුණේ. කලබලේට ඒ කමිසයයි කලිසමයි ඇදගෙන අත් දෙකින් මුහුණ පිස දම දමා කාර්යාලය ඉදිරිපිට විසිටි පෙන්වන තැනට ආවා.

මැණිකෙයි, කලිසමකුයි කමිසයකුයි ඇදගත්ත මහත්තයෙක් එනවා දැක්කා. මගේ දෙපා ගැහෙන්න වුණා. දෙනෙත් නිලංකාර වී ගෙන ගියා. හරි ම පුදුමයි මට අඳුන ගන්නත් බැරිවුණා, මැණිකේ පහුගිය කාලෙට ම මාව බලන්න ආවේ තනියම. කවදාමකවත් වෙනත් කිසිවකුත් සමඟ ඇවිත් නැහැ. අඩු තරමෙ ගමේ ගොඩේ කිසිවකුත් එක්කවත් ඇවිත් නැහැ. ඒත් දෙවියනේ අද...

දොරටු කාමරයේ නම්ගම් නැදෑකම් ඇතුළත් කර මැණිකෙත් අර මහත්මයත් විසිට් පෙන්නන තැනට ආවා. මැණිකේ ආවේ බයෙන් ගැහි ගැහී. ඊට වඩා මහත්තයා ගැහෙන්න වුණා. මහත්තයා මැණිකෙගෙන් වසන් වෙන්න උත්සහ කළා.

“හරි පුදුමයි පියදාසට අදුනගන්න බැරිවුණා කියන එක” ආරක්ෂක නිලධාරියා විස්මය පළ කළා.

“ළඟට ආපු ගමන් කිසි කතාබහක් නැතිව මැණිකෙයි අර මහත්තයයි දෙන්න ම මගේ දෙපා ළඟ වැද වැටිලා ඉකි ගසා අඬන්න පටන් ගත්තා. මට කර කියාගන්න දෙයක් නැතිව ගියා. විසිටි බලන්න ආපු අනිත් අයත් ගල් ගැහිලා... මම මැණිකෙගේ දෙවුරෙන් අල්ලා නැගිට්ටෙව්වා. මහත්තයත් ඒ ගමන් ම නැගිට්ටා. එතකොටයි මම මහත්තයගේ මුහුණ හරියට දැක්කේ. මට අඳුන ගන්න බැරිවුණා. මගේ උගුරේ මොකක්දෝ ඊයම බරුවක් වැනි යමක් හිර වෙන්නාක් මෙන් දැනුණා. මට කතා කරගන්න බැරිවුණා. දෑත් ගසා දමා මම එක පිම්මේ වාට්ටුවට දිව ගියා.

ආරක්ෂක නිලධාරියාට හරි ම ගැටලුවක් “පියදාස, පියදාස” යැයි පොළවෙ අඩි හප්පමින් කතා කළා.

“අයිසේ පියදාස... මට කියනවා කවුද ඒ මහත්තයා තමුසෙ තාම මට අවශ්‍ය කාරණය කිව්වේ නැහැ.”

පියදාසගේ දෙනෙත් කඳුළෙන් පිරෙන්න වුණා. තතමින් ඈත බලාගෙන පියදාස මුව විවර කළා.

“එදා මම පොඩි හාමුදුරුවන්ගේ දෙපා ළඟ දණ ගහලා තුනුරුවන්ගේ පිහිට ලැබුවා. පොඩි හාමුදුරුවන්ගේ සිවුරේ සුවඳ මගේ නාස් පුඩු සිසාරා ගියා. ඒ සිවුරෙ සුවඳ, මගේ වටේ කැරකෙන්නා වගේ දැනුණා. අද ඒ පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරලා කලිසමකුයි කමිසයකුයි ඇඳගෙන ඇවිත් මගේ දෙපා ළඟ වැඳ වැටී සමාව ඉල්ලනවා. එදා පොඩි හාමුදුරුවෝ මහන කළාට මම කොතෙකුත් මැණිකෙලාට එපා කීව ද? සසරක් ගැන හසරක් නොදුටු පොඩි එකාට මොනවා තේරෙනවද? අද ලොකු මහත් වෙලා ඉගෙන කියා ගත්තට පස්සෙ තමයි සසරේ... සමාජයේ හැටි තේරුම් ගත්තේ. මට මාව ම අමතක වුණා.

තව කී දවසක් ද තියෙන්නේ, අවුරුදු 3 1/2 ක අච්චුවක් ඇදල නිදහස් වෙලා යන්න. මට අර අහිංසක ගෑනි එක්කවත් වචනයක් දෙකක් කථා කර ගන්න බැරි වුණා. පියදාස නිහඬ වුණා ඉකි බින්දා. “සිවුරෙ ඉඳගෙන නරක වැඩ ජරා වැඩ කරලා සමාජයෙන් නින්දා අපහාස විඳිනවාට වඩා සිවුර අතහැරලා දහමට නිගා නොකර ගිහි ජීවිතයට යන එක හොඳයි” “මම මේ ළඟදී කියෙව්ව පොතක තිබුණා උපැවිදිවීම හෙවත් සිවුරු හැර යාම සම්බන්ධව උගත් හිමි නමකගේ දේශනයක්. මම ඒ පොත හොයලා පියදාසට ගෙනත් දෙන්නම්, පියදාස නිදහස් වෙලා යන්න කලින් ඒ පොත කියවල යන්න එතකොට සිත සන්තෝෂෙන් ගෙදර යන්න පුළුවන්.”

ආරක්ෂක නිලධාරී මහතාගේ වදන්වලට අවනත වූ පියදාස දෙනෙත් පොඩි කරමින්,

“හා හොඳයි සර්” කියමින් පසුපසට හැරී වාට්ටුවට පියමැන්නා.

ආරියරත්න වෙල්ලාල
avatar
arumaya

Posts : 109
Join date : 2010-01-14

View user profile http://www.arumaya.com

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum