සත්‍යජිත් රායි ගේ සිනමාව

View previous topic View next topic Go down

සත්‍යජිත් රායි ගේ සිනමාව

Post  arumaya on Wed Feb 17, 2010 4:41 am

ඉන්දීය මහා සිනමා කලාකරු සත්‍යජිත් රායිගේ සිනමාව විෂයය ක්‍ෂේත‍්‍ර කරගෙන වංග බසිනුත්, ඉංග‍්‍රීසියෙනුත් පොත් කීපයක්ම ලියැවී ඇත. ‘සත්‍යජිත් රායි : පේට්රේට් ඔෆ් අ ඩිරෙක්ටර්’ (මාරි සීට්න්) ‘සත්‍යජිත් රායි : ද ඉනර් අයි’ (ඇන්ඩෘ රොබින්සන්) ‘සත්‍යජිත් රායි : අ ස්ටඩි ඔෆ් හිස් ෆිල්ම්ස්’ (බෙන් නයිස්) එවැනි පොත් කීපයකි.

ඒ හැරුණු කොට චිදානන්ද දාස් ගුප්ත ‘ද සිනමා ඔෆ් සත්‍යජිත් රායි’ The Cinema of Satyajit Ray - 1981 නමින් ද පොතක් ලියා ඇත. එම පොත මීට තෙවසරකට ඉහත දී යාවත්කාලීන කොට යළිත් පළ කරන ලදී. රාණි සේනාරත්න රාජපක්ෂ මහත්මිය ‘සත්‍යජිත් රායිගේ සිනමාව‘ යනුවෙන් සිංහලට පරිවර්තනය කර ඇත්තේ එකී පොතය.(විදර්ශන ප‍්‍රකාශනයක් ලෙස එය එළි දැක ඇත.)

සත්‍යජිත් රායිගේ සිනමාව‘ විශ්ව සිනමාව, සිනමා සාහිත්‍යය හා පරිවර්තන කලාව යන කරුණු තුනම ඒකරාශී කරගත් කල්හී ඉතා වැදගත් කෘතියක් ලෙස හඳුන්වා දෙත හැකි ග‍්‍රන්ථයකි. මෙහි කතුවරයා චිදානන්ද දාස් ගුප්තය. ඔහු අන් ලේඛකයන්ට වඩා රායි ගේ සිනමාව ගැන ලිවීමේ විශේෂ සුදුසුකමක් ඇත්තකු බව පැහැදිලියි. එය සාධක තුනකින් පෙන්නුම් කළ හැකිය. (1) චිදානන්ද වංග ජාතිකයෙකි. වංග භාෂාව ස්වකීය මව්බස කරගත්තෙකි.

රායි ද චිත‍්‍රපට නිපදවා ඇත්තේ ඔහුගේ මව්බස වන වංග බසිනි. සිනමාව විශ්ව භාෂාවක් හෝ කලා මාධ්‍යයක් ලෙස හැඳින්වූවත් (එය අර්ධ සත්‍යයකි) ඕනෑම චිත‍්‍රපටයක් ගැඹුරු විවරණයකට ලක් කිරීමේදී ඊට පාදක වී ඇති භාෂාව වැදගත්කමින් කිසිසේත්ම නොසලකා හැරිය නොහැකිය. චිත‍්‍රපටයක ඕනෑම චරිතයක ආධ්‍යාත්මය හෙළිදරව් වන්නේ ඔහු භාවිතා කරන සංවාද මාලාවෙනි. එම සංවාදයට උපයුක්ත කර ගැනෙන භාෂාව නොදන්නා රසිකයා හෝ විචාරකයා චිත‍්‍රපටයේ සමුදයාර්ථය මු‍්‍රළුමනින්ම වටහා නොගනී. එවිට ඉන් ලැබෙන්නේ අසම්පූර්ණ ආස්වාදයකි.

(2) චිදානන්ද රායි රායිගේ සමකාලීනයකු මෙන්ම ඔහුගේ සමීප මිත‍්‍රයෙකි. 1947 දී කල්කටා චිත‍්‍රපට සංගමය පිහිටුවන ලද්දේ රායි හා චිදානන්දගේ පුරෝගාමීත්වයෙනි. එහෙයින් ඔහුට රායිගේ චිත‍්‍රපට දෙස ගැඹුරු අභ්‍යන්තර බැල්මක් හෙළීමට පුළුවන.

(3) චිදානන්ද සිනමා මාධ්‍යය පිළිබඳ භාවිත අත්දැකීම් ඇත්තෙකි. ‘පෝට්රේට් ඔෆ් අ සිටි’ (1961) ‘ද ඩාන්ස් ඔෆ් ශිව‘ (1968) වැනි වාර්තා චිත‍්‍රපට ඔහුගේ නිර්මාණ වෙයි. (‘ඩාන්ස් ඔෆ් ශිව‘ ආනන්ද කුමාරස්වාමි අළලා තැනුණු වාර්තා සිනමා පටයකි) සිනමා විචාරයකදී හුදු සාහිත්‍යමය දැනුමක් පමණක් ප‍්‍රමාණවත් නොවේ. එය ඉක්ම වූ සිනමා මාධ්‍ය පිළිබඳ අවබෝධයක් ඔහුට තිබීම අත්‍යවශ්‍යයි. චිදානන්ද එම දැනුමෙන් පෝෂිත වූවෙකි.

චිදානන්ද, රායිගේ චිත‍්‍රපට අවලෝකනය කරන්නේ පෘථුල සමාජ, සංස්කෘතික සන්දර්භයක් මත තබාය. විශේෂයෙන් රාජාරාම් මෝහන් රෝයිගෙන් ආරම්භ වී රවීන්ද්‍රනාත් තාගෝර්ගෙන් උත්කර්ෂයට නැඟුණු වංග පුනරුදය මත තබාය. රායි පමණක් නොව ඕනෑම කලාකරුවකු ඔහු ජීවත් වූ යුගය මත තබා විග‍්‍රහ කිරීම අනිවාර්ය සාධකයකි. අපේ රටේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමාව තවමත් එබඳු මට්ටමේ විවරණයකට හසුවී නොතිබීම කනගාටුදායකය.

රායිගේ සිනමා චින්තනය හා භාවිතයේදී රවීන්ද්‍රනාත් තාගෝර්ගේ බලපෑම අතිමහත්ය. ඔහු තාගෝර් සෙවණේ ශාන්ති නිකේතනයේ චිත‍්‍ර කලාව හැදෑරූ අතර තම චිත‍්‍රපට කීපයකටම තාගෝර්ගේ ප‍්‍රබන්ධ ආශ‍්‍රය කරගත්තේය. (චාරුලතා, තීන් කන්‍යා, ඝරේ බහිරේ වැනි) 1961 දී තාගෝර් ජන්ම ශත සංවත්සරයේදී තාගෝර් පිළිබඳ අනුස්මරණීය වාර්තා චිත‍්‍රපටයක් නිර්මාණය කෙළේය.

එසේම ශාන්ති නිකේතනයේ චිත‍්‍රකලා ආචාර්යවරයකු වූ බිනෝදේ බිහාරි මුකර්ජි ගැන ද වාර්තා චිත‍්‍රපටයක් ද (ද ඉනර් අයි) නිර්මාණය කළේය. ‘රායි ඇන්ඩ් තාගෝර්’ යන නමින් ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ ශාස්තී‍්‍රය සිනමා සඟාවට ලිපියක් සම්පාදනය කරන චිදානන්ද දාස් ගුප්ත රායිගේ මුල් සිනමා කෘතිවල නිරූපණය වන්නේ තාගෝර්ගේ සංකල්පවලින් යුත් ලෝකයක් බව කියා ඇත. එසේම ‘සත්‍යජිත් රායිගේ සිනමාව‘ නමැති කෘතියේ ද රායිගේ සම්භාව්‍යත්වය ඔහුගේ දෘෂ්ටියේ වෙනත් බොහෝ අංග මෙන් තාගෝර්ගෙන් උගත්තක් බව චිදානන්ද කියයි.

’සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ සඟාවට ලිපියක් ලියන සත්‍යජිත් රායි එහි මෙවැනි සඳහනක් කර ඇත. “තාගෝර් අප පිටුපසින්, එසේත් නැත්නම් අප හිස්වලට උඩින් අප දෙස බලාගෙන නිතරම අප සමඟ විය.”

රායි ලිබරල් මානවවාදියෙකි. මිනිසුන් පිළිබඳ ඔහුගේ දයාර්ද්‍ර වූ ආකල්පය ඔහුගේ සිනමාපටවලින් මනාව කැටපත්කොට දැක්වෙන්නේය. රායිගේ මුල්ම චිත‍්‍රපටය වන ‘පාතර් පංචලි’ 1956 දි ප‍්‍රංශයේ කාන්ස් අන්තර්ජාතික චිත‍්‍රපට උලෙළේ හොඳම චිත‍්‍රපටය බවට පත්වූ අවස්ථාවේ ඊට දැක්වුණු හේතු පාඨය මෙවැන්නකි.’The Best Human Documentary’ (හොඳම මානුෂික වාර්තාකරණය) රායිගේ චිත‍්‍රපටවල පැතලි චරිත දක්නා නොලැබේ. ඔහු මවන්නේ සුදන, දුදන යන ලක්ෂණ දෙකින්ම යුතු චරිතයන්ය. ඒවා නිසැකවම මනුෂ්‍යත්වයේ ප‍්‍රතිමූර්තීන්ය.

රායි සම්ප‍්‍රදායයේ මෙන්ම නවීනත්වයේ අපූර්ව ප‍්‍රතිබිම්බයකි. රායි නමැති වෘක්ෂයේ මුල් වංග භාෂාවට හා ඉන්දීය සංස්කෘතිය දක්වා ඇදී තිබුණත් එහි අතු-ඉති විහිද පැතිර ගියේ ඉංග‍්‍රීසි භාෂාවට හා බටහිර සංස්කෘතිය දෙසටය. ඩේවිඩ් හැනන් නමැති විචාරකයා රායි ගේ මේ ද්විසංස්කෘතික භාවය ගැන මනා විවරණයක් කර ඇත.

රායිගේ බටහිරකරණයට වඩාත් හේතුවී ඇත්තේ බෙංගාලි සංස්කෘතිය තුළ ඔහු බිහිවීමත් එම සමාජය තුළ ඔහුගේ පංති ස්ථාවරයත් බව කියන ඔහු සමස්තයක් වශයෙන් භාරතය තුළ මුලින්ම බටහිර අදහස් හා සංස්කෘතිය පිළිගන්නා ලද්දේ බෙංගාලි ඉහළ මධ්‍යම පන්තිකයන් බවත් රායි ද එම පංතියටම සම්බන්ධකම් ඇති අයෙක් බවත් ඔහු වැඩිදුරටත් කියයි.

රායි ක‍්‍රමයෙන් වෙනස්වන, නවීකරණය වන සමාජය දෙස හෙළන උපේක්ෂා සහගත බැල්ම ‘මහා නගර්’ වැනි චිත‍්‍රපටයකින් මෙන්ම ඔහු හැත්තෑව දශකයේ දී නූතන බෙංගාලි සමාජයේ දේශපාලන හැලහැප්පුම් අළලා තැනූ චිත‍්‍රපටවලින් ද (විශේෂයෙන් කල්කටා ති‍්‍රත්වය ලෙස හැඳින්වෙන ‘ප‍්‍රතිද්වන්ධි’, ‘සීමාබද්ධ’, ‘ජන ආරණ්‍ය’ වැනි චිත‍්‍රපට) පෙන්නුම් කරයි.

මෙම පරිවර්තනය විශිෂ්ට එකක් බවට කිසිදු විවාදයක් නොමැත.

එකම අඩුපාඩුවකට මා දුටුවේ ඇතැම් තැන්වල සීමාන්තික ලෙස පරිවර්නය කරන්නට යෑමේදී ඇති වන විසුළුව පමණි. ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ සඟාවට ‘දර්ශනය හා ශ‍්‍රවණය’ යැයි කීම විහිළුවකි. එය හරියට ‘සෙන්ට් පීටර්ස් ස්ටේට්’ යන්නට ‘උපාසක පීතරගේ වත්ත’ යැයි පරිවර්තනය කරන්නාක් මෙනි. රායිගේ ජීවන තොරතුරු, ඔහුගේ චිත‍්‍රපටවල නාමාවලියක් වචන කෝෂයක් හා වටිනා ඡායාරූප රැසක් මෙම ග‍්‍රන්ථයට ඇතුළත්ය.

සුනිල් මිහිඳුකුල[u]
avatar
arumaya

Posts : 109
Join date : 2010-01-14

View user profile http://www.arumaya.com

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum